Cherreads

Chapter 25 - 25

කටුකත්වය කියන්නේ ජීවිතේ සුන්දර කරන ලොකුම අත්දැකීම් ගොඩකට. මොන පවුරු වළලු බැඳලා සිර ගත කරන්න හැදුවත් ජීවිතේ දිනන තැනැත්තා ජීවිතේ දිනනවාමයි. මිටියාවතකට බහින දිය දහරක් මොන තරම් නිදහසකින් ගඟක් වෙනවාද , ඒ තරම්ම නිදහසකින් කන්දක් තරණය කරන තැනැත්තා පල්ලම් බහිනවා. ඉතින් ජීවිතේ එහෙමයි.

රළු මුහුදක් මුදු වෙන්නාක් වගේ හිතේ තියෙන හැම දුකක් වේදනාවක්ම හිතෙන් අස් කරලා දාන්න පුළුවන් නම් ඒ කෙනා ජීවිතේ යන ගමන නවත්තන්න කොහොමටවත් බෑ. ඉතින් සත්සිඳුත් ඒ සතියට ඒ හැම දුකක් වේදනාවක්ම අමතක කරලා අලුත් ජීවිතයක් වෙනුවෙන් මාවතක් හොයා ගත්තා.

කිරි අම්මගේ මරණයත් එක්ක වීදුරුවක් ගානට කැඩිලා බිඳිලා සුන් වෙලා ගියපු හිත ආයෙමත් හදාගෙන පිළිසකර කරගන්න පුළුවන් වෙයි කියලා කිසිම බලාපොරොත්තුවක් නැති තැන පන්හිඳ ඒ හිත හැදුවේ හිතුවෙවත් නැති විදිහට . ජීවිතේ දවසකට හරි හම්බවෙන්න ඕනි එහෙම මිනිස්සුන්ව කියලා එයා තේරුම් ගත්තේ පන්හිඳගෙන්.

සතියක් කියන්නේ දවස් හතක් වුනාට එයාට නම් ඒක තත්පර ගාණක් වගේ. කොළඹ ඉන්නවට වඩා ගාල්ලේ වැල්ලට වෙලා නිදහසේ ඉන්න තිබ්බ නම් කියලා අනන්තවත් හිතුණට මොකද කරගෙන ආපු රස්සාව මග දාලා ආයෙමත් ගමේ නවතින්න නම් එයාගෙ හිත කොහොමටවත් ඉඩක් දුන්නේ නෑ.

කිරි අම්මගේ හත් දවසේ බණයි, දානෙයි ඉවර කරලා එයා පහුවදාම වගේ කොළඹ යන්න ලෑස්ති වුණා . ලොකූ රෙදි බෑග් එකකුත් උස්සගෙන සත්සිඳු ගෙදර ඉඳලා වැල්ල දිහාවට ගියා. එයා ඇඳන් උන්නේ සුදු අත් දිග ලිනන් ශර්ට් එකකුයි, ලා නිල් පාට ඩෙනිමකුයි. එයාගෙ නිරුවත් දෙපා ඔහේ වැල්ල දිගේ ඇවිදගෙන ගියේ අනිත් අතේ රබර් බාටා සෙරෙප්පු දෙක රඳවාගෙන .

වෙලාව උදේ 8 ට කිට්ටුයි. පන්හිඳ මේස් බැනියමකුත් ඇඳලා සරමත් කෙටි කරන් මාරියා බෝට්ටුව ඇතුළේ ඉඳන් මොන මොනවාදෝ කරන හැටි සත්සිඳු ඈත තියාම දැක්කා. හෙමින් හෙමින් වුණත් අඩි තිය තියා බෝට්ටුව ගාවට එන සත්සිඳුව දැක්ක ගමන් ඇතුළේ ආම්පන්න වගයක් අස් පස් කරන ගමන් උන්නු පන්හිඳ බෝට්ටුවෙන් එළියට පැන්නා.

බෝට්ටුවේ ගැට්ටට අත් දෙක තියලා එයා එළියට පනිද්දී ශක්තිමත් අත් බාහුවල මස් පිඬු පිම්බෙන හැටි එයා හොඳටම දැක්කා.

' මිගාන් සර්ගෙ වගේමයි... '

එයාගෙ හිත ඒ මොහොතේ කිව්වෙ එහෙම . මූණේ හිනාවකුත් පුරවගෙන එළියට පැන්න පන්හිඳ අත් දෙකත් පිහදාගන්න ගමන් සත්සිඳු ගාවට ආවා.

" සුදු චූටි... "

එයා කතා කළෙත් හිනා වී ගෙනමයි. අනේ ඇත්තමයි, එයාට නම් ඒ හිනාව දැක්කත් ඇති. හිත අස්සේ ලක්ෂ කෝටි ගාණක ප්‍රශ්න තියන් උන්නත් එක තත්පරේකට දකින ඒ හිනාවෙන් මුළු හිතේම තියෙන ප්‍රශ්න හැම එකක්ම අමතක වෙලා යන්නේ හරියට මායාවක් වගේ.

" අයියේ... "

එයාගේ මූණ නම් එච්චර හරි නෑ.

" සුදු චූටි යන්නද? "

" ඔව් අයියේ... "

එයා උත්තර දුන්නේ හිත් වේදනාවෙන් වගේ.

" ආයෙමත් කවද්ද එන්නේ? "

එයා ඇහුවේ නම් අර සුපුරුදු හිනාව මූණේ පුරවගෙනමයි.

" ඉක්මනට එන්නම්... "

එයා අර ඇස් දිහා බලන් උත්තර දුන්නා .

" මං බලන් ඉන්නවා... "

පන්හිඳ රහසින් වගේ යාන්තමට මිමිණුවේ ඇහෙන නෑහෙන ගානට. සත්සිඳු යාන්තමට හිනා වෙලා එයාගේ මූණ දිහා බැලුවා. මහා ලොකූ ආඩම්බරකාර පෞරුෂයක් ඒ මූණේ පිරිලා ඉතිරිලා. එයාව එහෙම දකිද්දි නම් දාලා යන්නත් ලෝභයි . තත්පර ගාණක් ඉක්මවාපු මිනිත්තු කිහිපයක් එයාගේ ඇස් දිහා බලන් හිටපු සත්සිඳු ආයෙමත් බිමට ඇස් යොමාගත්තේ ඒ ඇස් දිහා බලන් ඉද්දි කඳුළු උනන බව දැනුනු හින්දමයි.

එයාගෙ ඇස් එක්ක සත්සිඳුගේ ඇස් පැටළුනු නිමේෂයේ සත්සිඳුගේ හිත කිව්ව දහසක් පෙම් කතන්දර කන්දරාව දන්නෙ එයාම තමයි. බිමට යොමා ගත්තු ඇස් ඊළඟ තත්පරේදී ආයෙමත් පන්හිඳගේ මූණට හෙලලා එයා මිමිණුවේ වචන හතරක් විතරමයි.

" මං ගිහින් එන්නද අයියේ? "

" හ්ම්... පරිස්සමින් සුදු චූටි, බුදු සරණයි...! "

ඒත් එක්කම තැනක් නොතැනක් නොබලා පන්හිඳ කළේ එයාව පපුවට තද කරලා තුරුළු කරගත්තු එක.

" ඔයත් පරිස්සමින්... බුදු සරණයි...! "

සත්සිඳු එයාගෙ පපුවට තුරුළු වී ගෙනම මිමිණුවා. ඒත් එක්කම පන්හිඳගේ දෙතොල් සත්සිඳුගේ නළලත මත පතිත වෙලා පුංචි හාදුවක් මැව්වේ දෙන්නගෙම හිත්වල ඒ දෙන්නා ගැන ඉපදිලා තිබුණ ආදරේ තව තවත් වැඩි කරන ගමන්.

" ආදරෙයි සුදු චූටි..."

" මාත් ආදරෙයි... "

ඒ පපුව අස්සෙ පණ ගැහෙන හැටි සත්සිඳුට හොඳටම දැනුනා. ඒ එයා වෙනුවෙන් ඉපදුණු ආදරේ හින්දා බව එයා දන්නවා. ඒ හින්දම එයා කළේ තවත් පරිස්සමින් ඒ පපුවට තුරුළු වෙච්චි එක.

" පරක්කු වෙයි සුදු චූටි.. පරිස්සමින් ගිහින් එන්න... "

ඊළඟ තත්පරේ එයාගෙ පපුවෙන් ඈත් වුණු සත්සිඳු අතේ තිබුණු ලොකු රෙදි බෑග් එකයි, බාටා සෙරෙප්පු දෙකයි පැත්තකින් තියලා වැල්ලෙම දණ ගහලා පන්හිඳගේ දෙපා වැන්දේ ආදරයයි , ගෞරවයයි දෙකම හිතේ පුරෝගෙන.

" බුදු සරණයි රත්තරනේ.. උඹ වැන්දත් නොවැන්දත් හැමදාමත් මගේ ආශිර්වාදය උඹට තියෙනවා සුදු චූටි... "

එයාගෙ දෙපාමුල වැඳ වැටුණ සත්සිඳුව බාහු දෙකෙන් අල්ලලා ඔසවන ගමන් පන්හිඳ කිව්වා.

"මං යන්නම්... "

එයා පන්හිඳගේ මූණ දිහා බලාගෙන කිව්වේ වැල්ලෙන් පිටවෙලා යන්න ඔන්න මෙන්න කියලා .

" ම්හ්... යන්නම් නෙවෙයි , ගිහින් එන්නම් කියන්න... "

එයා හිනා වෙලා වුණත් ඒක කිව්වේ ටිකක් අවවාදාත්මක ස්වරයෙන්.

" හ්ම්... මං ගිහින් එන්නම්... "

එහෙම්මම ලාවට හිනා වෙලා පන්හිඳ දිහා බලපු එයා පැත්තකින් තියපු රෙදි බෑග් එකයි, බාටා සෙරෙප්පු දෙකයි අතට අරන් ආයෙමත් පන්හිඳ දිහා බැලුවේ දාලා යන්න බැරි ලෝභකමකින්. පන්හිඳ අහිංසක විදිහට හිනා වෙලා එයා දිහා බලන් උන්නා මිසක් වචනයක් හෝ ඉඟියක්වත් දුන්නෙම නැති තරම්.

බෑග් එකත් එල්ලගෙන , බාටා දෙකත් අතට අරන් සත්සිඳු පන්හිඳට පිටුපාලා වැල්ලෙන් යන්න ගියේ එයා ඈතට වෙලා බලන් ඉද්දිමයි. වචනවලින් නොකිව්වට මොකද එයා යනකොට පන්හිඳගේ හිතේ වුණත් ලොකු දුකක් වේදනාවක් පිරිලා තිබුණා . ඒත් එයා ඒක කිසිම විදිහකින් පෙන්නුවේ නැත්තේ සත්සිඳුගේ ගමන නවත්තන්න ඕනි නැති නිසා.

වැල්ලෙන් එගොඩ වෙලා පාරට වැටිලා නොපෙනී යනකනුත් පන්හිඳ එයා දිහා බලන් උන්නා. එයා ආයෙමත් එක පාරක් හරි හැරිලා බලයි කියලා හිතුණත් මොකක්දෝ හේතුවකට එයා ආපහු හැරිලා බැලුවේ නෑ. සිල්ලර තාලෙට වුණත් මිනිස්සුන්ගෙ හිත් රිදෙන්නේ ඔය වගේ පුංචි පුංචි දේවල් නිසා බව එයා දන්නවා වුණත් එයාගෙ හිත ඒ මොහොතේ ඇත්තෙන්ම රිදුණා.

මහ පාරට වැටුණට පස්සෙ නිරුවත් දෙපාවල තැවරිලා තිබුණු මූදු වැලි ටික එයා යාන්තමට අයින් කරගෙන බෑග් එකෙන් වතුර බෝතලයක් අරන් සෝදගත්තා. ඊට පස්සෙයි එතුවක් වෙලා අතේ තිබුණු බාටා සෙරෙප්පු දෙක පැළඳගත්තේ. ගාල්ල ටවුන් එකට ඇවිත් ගොඩ වෙලාවක් ඉන්න ඕනි වුණේ නැති වුණත් එයා මොහොතක් වැඩිපුර ඒ ටවුන් එකේ හිටියේ එයාට හුරු පුරුදු දේවල් අත් හැරලා යන්න ලෝභකමේ.

ඉස්සරම දවස්වල ඉස්කෝලේ යාළුවොත් එක්ක ගාල්ලේ ටවුන් එකේ ටියුෂන් ක්ලාස් ආව හැටි එයාට ඒ මොහොතෙත් මතක් වුණා . තිබුණු අව්වත් එක්ක ගිනි පාගනවා වගේ හැඟීමක් ආවත් එයා ගාල්ල ටවුන් එකේ වැඩි වෙලාවක් ගත කරන්න තීරණය කළා .

කොච්චර වෙලාවක් ගත වුනාද කියලා හරියටම නිච්චියක් නැති වුණත් සත්සිඳුගේ හිතට යාන්තම් සැනසීමක් ආවේ පන්නිපිටිය කිට්ටු කරද්දි. කොහෙන් කොහොම ගියත් බස් drivers ලා ශ්‍රී සුමංගල පාර ගාවින් බස් නවත්තන්නෙ නැති නිසා එයාගේ සුපුරුදු නැවතුම්පොළ වුණේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාව.

ආපු මුල් දවස්වල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවින් බැහැලා පළු ඇර ඇර බැන බැන ගියාට මොකද දැන් නම් ඒක එයාට පුරුද්දක් වෙලා නිසා බනින්නේ නෑ. ඒ වෙනුවට එයා කරන්නේ ධර්මපාල විද්‍යාලයත් සුමංගල මාවතත් අතර කොටසේ සතුටින් ඇවිදන් යන එක.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවින් බැහැලා එයා ඉස්සරහට ඇවිදගෙන ගියේ හිතේ සැනසීමෙන්. ඇත්තමයි, කොළඹ නගරයේ දූවිලි අහස යට මොන තරම් අමාරුවෙන් අපහසුවෙන් ජීවිතේ ගෙව්වත් මොකද ශ්‍රී සුමංගල පාරට වැටෙනව කියන්නෙම එයාට දැනෙන්නේ හරියට හරිත පාරාදීසයකට පිවිසුණා වගේ.

නිල් අහසේ පායලා තිබුණු ඉරේ තද රැස් පාර දෙපස තිබුණු අතු පතර විහිදුවා ගත්තු ගස්වලින් පොළවට පතිත වෙන්නේ පෙරා එවන කිරි වගේ. ඒ හින්දමදෝ තද ඉරු රැස් එයාට දැනෙන්නෙම නැති තරම්. ගස්වල සෙවණැලිත්, ඉර එළියත් එකට මුහු වෙලා මවලා තියෙන දර්ශනය දිහා එයා බලාගෙනම ඉස්සරහට ගමන් කළා.

හාත්පස පැතිර ගිය අර්ධ නාගරිකත්වය නාගරිකත්වයකට වඩා ග්‍රාමීයත්වයට බර වෙලා තිබුණු නිසාදෝ එයා ඒ පරිසරයට පුදුමාකාර විදිහට බැඳෙමින් උන්නා. එයා ආස කරපු විදිහේ පරිසරයකින් බෝඩිම් කාමරයක් හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙච්චි එක ගැන නම් එයා උන්නේ ලොකු සතුටකින්.

පටුත් නොවන, පළලත් නොවන පාර දිගේ යික දුරක් ගිහින් එයා බෝඩිම් කාමර පේළිය තියෙන තැනට ආවා. ගෙදරකටත් වඩා වෙනස් දිග ශාලාවක් වගේ හැඩය ගත්තත් ඒ තැනට ආවා කියන්නෙම එයාට ලොකු නිදහසක්. එයා එද්දිම බලන් ආවේ එයාගේ කාමරේට යාබදව තිබුණු දෙනුවරගේ කාමරය දිහා. ඒ වෙද්දි එයාගේ කාමරය නම් lock කරලයි තිබුණේ .

සත්සිඳු ඇවිත් තමන්ගේ කාමරයේ දොර විවර කරද්දිම වගේ කොහේදෝ ඉඳන් ආපු මීයෙක් සිවිලිම දිගේ දුවන්න ගිහින් බිමට වැටුණා . ඒත් එක්කම ඌ බිත්ති මුල්ලක් දිගේ ඉහළට ගිහින් කවුළුවකින් එළියට පැන්නා.

" නැති ටිකට වනසලද කොහෙද... "

සත්සිඳු කාමරයට පිවිසුණේම එහෙම කියාගෙන. දාඩිය පිටින්ම එයා ඇඳට වැටුණේ ගාල්ලේ ඉඳන් ආපු එකේ මහන්සිය යන්නත් එක්කමයි. ශර්ට් එකේ බොත්තම් ටික ගලවලා අයින් කරලා දැම්මට දාඩිය යන්නෙ නෑ. ඉතින් දොරත් වහන් එයා කළේ bathroom එක අස්සට රිංගගත්තු එක.

එයා ආයෙමත් එළියට ආවේ හරියටම පැයකුත් ඉක්මවලා ගිහින්. බෝඩිමට එද්දි අහසේ තිබුණු එළිය පාට නම් ඒ වෙද්දි පේන්න තිබුණේ නෑ. අඩ අඳුරකින් මුළු පරිසරයම වෙලාගෙන තිබුණා . වැස්සක් ළඟ ළඟම එන බව දැන දැනත් එයා කළේ මිදුලට ගිහින් ටික වෙලාවක් එහෙ මෙහෙ ඇවිද්ද එක.

බොරළු පොළවේ ඇවිදිද්දී එයාට දැනුනේ ලොකු නිදහසක්. ඈත අහස කළු පාට වෙලා තිබුණා . වැහිලිහිණි රංචු ගැහිලා පියාඹමින් උන්නා. එයා එද්දී කොළඹ අහස යට තිබුණ උණුහුම පෑල දොරින් පලා ගිහින්. ඒ වෙනුවට සීතලකුත් නොවන උණුසුමකුත් නොවන අතරමැදි සිතුවිල්ලක් එක්ක ඒ පරිසරයම වෙලාගෙන තිබුණා .

මිගාන් උන්නේ ගෙදර බැල්කනි එකට වෙලා . එයා බලන් උන්නේ සත්සිඳු දකින තුරු ඉවසිල්ලක් නැතුව. සතියකුත් ගෙවිලා ගිහින් තිබුණත් සත්සිඳු එයාගෙ ඇස් මානෙකටවත් ආවේ නෑ. එයා ගමේ කියලා කිව්වට ගම කොහෙද, කොහොම ඉන්නවද, මොනා කරනවද කියලා හිතාගන්න බැරුව ගැරඬියා අසරණ වෙලා උන්නේ.

හිතට දුකක් කරදරයක් ආපු තැන ගැරඬියා කරන්නෙම බැල්කනි එකට වෙලා කල්පනා කරන එක. ඒ වෙලාවට එයාගෙ තනියට ළඟ ඉන්නේ බියර් වීදුරුවක් හෝ කෝපි කෝප්පයක් විතරයි. ගොඩක් වෙලාවට නම් බියර් වීදුරුවක්..

හැබැයි ඒ මොහොතේ තිබුණ වැස්සත් එක්ක නම් එයාට හිතුණේ කල්පනා කරන මොහොතට තනි රකින්න හොඳ කෝපි කෝප්පයක් කියලා . ඉතින් කාටවත් කරදරයක් නොවී එයාම පඩිපෙළ බැහැලා ගිහින් කිචන් එකට ගිහින් කෝපි එකකුත් හදාගෙන ආයෙමත් පඩිපෙළ නැග්ගා.

කෝපි එකක් කියන්නේ නිකන්ම කෝපි කුඩු ටිකකට උණු වතුර මුසු කරලා සීනි එකතු කරලා හදාගෙන බොන පානයක්ම නෙවෙයි . හොඳ කෝපි එකක් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. කිරි පිටි ටිකක් එකතු කරලා හදාගන්න හරි, එහෙමත් නැත්නම් හදාගත්තු කෝපි එකට දෙහි බිංදු දෙකක් එකතු කරලා හරි හදාගන්න හරි පුළුවන් නම් ඒ කෝපි එක වෙනම රහක් වෙනවා.

ඉතින් මිගාන් හදාගත්තෙත් ඒ වගේ වෙනස් කෝපි එකක්. සුදු කිරි පිටි ටිකක් එකතු කරලා හදාගත්තු කෝපි එකත් අරන් පඩිපෙළ නැගපු එයා ආයෙමත් බැල්කනි එකට ගොඩ වුණා .

පොද වැස්සක් විදිහට ඇද හැලෙමින් තිබුණ වැස්ස ඒ වෙද්දි නම් මහ වරුසාවක් වෙලා . කොළඹ අහසත් එක වෙලාවකට හරි හිතුවක්කාරයි. එයාගේ හිතු මනාපෙට හරි හරියට වෙනස් වෙනවා. උදේ ඉන්න රූපේ නෙවෙයි දවල්ට. දවල් ඉන්න රූපේ නෙවෙයි රෑට. එහෙම බලද්දී නම් කොළඹ අහසත් හරි වංචනිකයි.

තද වැස්සක් එක්ක ඈතින් ආපු සුළං රැල්ලක් එක්ක වැස්ස වෙනත් පැත්තකට ගමන් කරන්න වුණා . එච්චර වෙලා අහසෙ ඉඳන් පොළවට කෙළින් අතට වැටුණ වැහි බිංදු සුළඟත් එක්ක ඇදේට වගේ ගමන් කරන්න වුණා . මිගාන් කෝපි එකත් බිබී ඒ දිහා බලන් උන්නේ හරි ආසාවෙන්.

එයාගේ phone එක ring වෙන්න වුණේ ඒ තත්පර කිහිපය ගෙවිලා ගියාට පස්සෙයි. නොනවත්වා හඬන ළදරුවෙක් ගානට ring වෙන phone එක තිබුණේ එයාගේ ඇඳ උඩ. වැස්සට එයාගෙ පාඩුවේ වහින්න ඉඩ දීලා ගැරඬියා ඇඳ ගාවට ගිහින් phone එක අතට ගත්තා. Screen එකේ තිබුණේ අම්මගේ මල්ලිගේ නම.

" රාග් uncle... "

එයා screen එක දිහා බලාගෙන මිමිණුවා. සතියකට විතර ඉස්සර කතා කරලා තව මාසෙකින් ලංකාවට එනවයි කිව්ව මනුස්සයා නේද මේ කියලා හිතන්නෙවත් නැතුව එයා එහෙම්මම කෝල් එක cut කළා. ඒත් ඊළඟ තත්පරේදී ආයෙමත් බබා අඬන්න ගත්තු හින්දා එයාට answer නොකර ඉන්න බැරි වුණා .

" Hello මාමේ.. "

Uncle නොකියා මාමා කියලා කියන්න කිව්ව හින්දම එයා කතා කළේ ' මාමා ' කියලමයි.

" අහ් ඩිනෝ... මොකෝ කරන්නේ කොල්ලෝ? "

එහා පැත්තෙන් කතා කරන රළු හඬ එයාට ඇහෙනවා.

" මොකුත් නෑ මාමේ.. මේ පොඩ්ඩක් එළියට වෙලා බලන් හිටියා.. "

එයා යාන්තමට වචන තෝරලා බේරලා වගේ උත්තර දුන්නේ හරි පරිස්සමින්.

" අනේ යකෝ... උඹ දැන් club එකට යන්නැද්ද? "

රාග් මාමත් ඉඳලා ඉඳලා කතා කරලා ඇහුවේ කොල්ලගේ යකා මහසෝනා වෙලා, මහසෝනා රීරි යකා වෙන ජාතියේ ප්‍රශ්නයක් . ඒත් එක්කම එයාගේ හිතට කියන්න හොඳයි කියලා හිතෙන විදිහේ ගොඩක් කතන්දර ආවත් එයා මොකුත්ම නොකියා යාන්තමට හිනා වුණේ රාග්ට ඇහෙන්න.

" හිනා නෙවෙයි ඩිනෝ... මං ඇහුවේ club එක ගැන.. මොකෝ දැන් club එකේ තත්වේ? "

" අවුලක් නෑ මාමේ.. shape එකේ යනවා.. "

" එහෙනම් කමක් නෑ.. මාත් ආවම දෙන්නත් එක්කම ඕක කරමුකෝ... "

රාග් කිව්ව කතාවෙන් නම් ගැරඬියට හොඳටම එයාගේ යටි අරමුණ මොකක්ද කියලා තේරුණා.

' මූ මේ එන්න හදන්නේ මට ආදරේකට නෙවෙයි.. club එකට කොක්ක ගහන්න.. නාකි හුත්තා... '

කෝල එකේ ඉද්දිම ගැරඬියගේ හිත කිව්වේ එහෙම දෙයක් .

" හරි මාමේ.. මොකක් හරි බලමුකෝ... "

මිගාන් යාන්තමට හිනා වෙලා කිව්වේ කාවවත් ඒ මොහොතෙදි අමනාප කරගන්න වුවමනාවක් නැති නිසා. ඒත් එක්කම ගැරඬියා call එක cut කරලා phone එක ඇඳ උඩට විසි කරලා ආයෙමත් බැල්කනි එකට ගොඩ වුණා .

එක කරදරයක් ඉවර වෙද්දි තවත් කරදරයක් කඩා පාත් වෙන එක ගැන නම් කොල්ලට සංසාරේ කලකිරිලයි තිබුණේ . ඒත් ඉතින් කරන්න කියලා කිසි දෙයක් නැති තැන මොන කරදරය ආවත් දරාගන්න එයා අදිටන් කරන් උන්නේ.

බැල්කනි එකට ගොඩ වෙලා අහසයි වැස්සයි දිහා බලන් ඉන්න හිතුවට මොකද ඒ මොහොතේ එයාගෙ මනසට ආවෙම රාග් මාමව. රාග් මාමා ගැන ගැරඬියට මතකයක් තිබුණේ මීට අවුරුදු 10 කටත් ඉස්සර.

ඒ වෙද්දි කොල්ලට අවුරුදු 20 ක් විතර ඇති. රාග් දේවේන්ද්‍ර කියන ඇඟ පුම්බගත්තු ජිම් ගිය මනුස්සයෙක්ගේ රූපයක් යාන්තමට වගේ මිගාන්ගේ මතකයේ ඇඳිලා තිබුණා . මීට අවුරුදු දහයකට ඉස්සර දැකපු ඒ රූපය දැන් නම් ගොඩක් වෙනස් ඇති කියලා ගැරඬියා ඒ මොහොතේ කල්පනා කළා.

ඉස්සර දවස්වල නම් මිගාන්ට එයාව මතක හිටියේ හොඳ විදිහට වුනාට දැන් දැන් එයා එන්නේ හොඳකට නොවන බව කොල්ලට තේරුම් ගිහින් තිබුණේ .

ඩිනෝ මිගාන් සමරදිවාකර නැත්නම් ගැරඬියගේ අම්මා වුණු වසූදා දේවේන්ද්‍රගේ එකම මල්ලි වෙච්චි රාග් දේවේන්ද්‍ර සිංගප්පූරුවට ගියේ මීට අවුරුදු දහයකට ඉස්සර. එයා එහේ මොනා කරනවද, කොහොම ඉන්නවද කියලා කවුරුවත් දැනන් හිටියේ නෑ. හැබැයි ලංකාවේ ඉන්නකනුත් එයාට හොඳ චරිතයක් නොතිබුණු බව නම් කොල්ලා දන්නවා.

කොහේදෝ ඉඳන් ආව රාග් දේවේන්ද්‍රයෙක් නිසා කොල්ලගේ ඔළුව හොඳටම අවුල් වෙලා තිබුණේ . ඉතින් කෝපි කෝප්පේ හිස් කරපු එයා කළේ ආයෙමත් පඩිපෙළ බැහැලා ගිහින් ෆ්‍රිජ් එකෙන් අලුත්ම branded බියර් බෝතලයකුත් අරන් පඩිපෙළ නැගපු එක.

වෙලාව කීයද කියලා හරියට නිච්චියක් නැති මොහොතක වැස්සත් එක්කම කළුවර වුණු අහස දිහා බලන් ගැරඬියා බියර් වීදුරු දෙකකුත් හිස් කළේ මිනිත්තු පහ හයක් ඇතුළතදී.

මීළඟ කොටසට ...

More Chapters