Cherreads

Chapter 8 - මට ආදරය ඕනා

"ලස්සනයි!" සයෝද් කකුලක් පිට කකුලක් දාලා අත්පුඩි ගැහුවා. ඒත් මගේ කකුල් දෙක දැන් රත් වෙච්ච පොලවට පිච්චිලා නැටුවෙත් අමාරුවෙන්. ඒත් දැන් එක තැන හිටන් ඉන්න බැරි තැන පැන පැන ගිහින් සයෝද් එහා පැත්තෙන් ඉඳගෙන කකුලක් දණහිස උඩින් දාලා යටිපඅතුල බැලුවම රතු වෙලා. 

"කකුල් පිච්චුනාද?" පුදුමයි! නපුරු මූන දැන් සෞම්‍ය වෙලා.

"ඔව්!" 

"කිව්වේ නැත්තේ?"

"ඔයානේ දැන් නටන්න කිව්වේ. ඔයා කැමති විදිහට කරන්න එපැයි!" මන් ඔරවගත්තා.

"මන් කැමතී කියලා වේදනා විඳිනවද?" ඔන්න ආයේ නපුරු පාට!

"සමහර වෙලාවට වේදනාවත් සතුටක් වෙනවා ඔය පොඩි එවුන් නොදන්නවා උනාට!" සයෝද් ගේ පිම්බිච්ච බාහුවකට ඇඟිල්ලෙන් ඇන්න.

"පොඩි?" ඒ පාර මේ මල යකා සපත්තු දෙකත් අරන් නැගිට්ටා. 

"එනවා පෙන්නන්න පොඩි!" බිමට නැමිලා සපත්තු දෙකත් දාලා අතින් ඇදන් කෝට් එකට ගිහින් බිම තිබ්බ බාස්කට බෝල් එක බිම තුන් හතර පාරක් බම්ප් කරලා බාස්කට් එකට දැම්මේ නිකන්ම අත උස්සලා. ඊටපස්සේ බෝලේ මට එව්වාම මන් ඒක යන්තන් අල්ලගත්තා. දැන් මන් මොකක්ද කරන්න ඕනා?

"බලන් ඉන්නේ? ඕක එක පාරක් බම්ප් කරලා ත්‍රෝ කරන්න. හැබැයි හරියට හූප් එකට දාන්න." ඉතින් කියන විදිහට කරාට හූප් එකට විසික් කරත් ඒක ගිහින් වැදුනේ කනුවේ. සයෝද් ට හිනා

"මොකද හිනා වෙන්නේ? පලවෙනි දවසෙම ගුරා ගෝලයට හිනා වෙනවද?" මන් අත් දෙක බැඳගෙන අහක බලාගත්තම එයා ආයේ බෝලේ අරන් ඇවිත් දික් කරා.

"මන් හිනා වුනේ තවුසෙට ඕක හරියට හූප් එකට දාගන්න බැරි වුන එකට නෙමෙයි" 

"එහෙනම්?" අහක බලාගත්ත මූන ආයේ කෙලින් කරගත්තම

"ඒක පස්සේ කියන්නම්! දැන් ආයේ try කරනවා!" ඉතින් බෝලේ ඇදලා අරන් තියන කේන්තියටත් එක්ක බිම ගහලා ත්‍රෝ කරන්න හදපු ගමන් මාව පොලවෙන් අඩි ගානකින් හූප් එක ළඟටම ඉස්සුනා. බය හිතෙනවා නේ!

"ඉතින් දානවා බලං ඉන්නේ!" පහල ඉන්න ඈයෝ දිහා බැලුවම ඇහුනේ ඒ ටික. බෝලේ බාස්කට් එකට දැම්මම ආයේ මගේ කකුල් දෙක දෙයියනේ කියලා බිම තිව්වුනා. 

"පුලුං වගේ!" සයෝද් මගේ කෙස් අවුස්සලා හිනා වුනා. 

"යැයි යැයි තමයි!" මන් අත් දෙක බැඳගත්තම මගේ ටී ශර්ට් එකේ කොනකින් අල්ලගත්තා.

"යමු!"

"කොහෙද?" 

"මහන්සි නැද්ද? මොනා හරි බොමු?" ඒකනම් ඇත්ත. මහන්සී තමයි. මාර අවුවයි. මන් වෙන්දා වගේම නලලෙ දාඩිය ටීශර්ට් එකේ කර නලලා උඩට උස්සලා මූන දිගේ ඇදන් ඇවිත් පිහිදගන්නකොට සයෝද් ශර්ට් එක අත ඇරලා,

"ඒක ලස්සනයි." 

"මොකක්ද?" මන් ශර්ට් එක පල්ලෙහාට දැම්මා.

"ඉනේ තියන දුඹුරු පාට උපන් ළපේ" කන් දෙක රත් වෙනවා!!!! ඒත් මන් දැන් එයා දිහා බලන්ම ගල් ගැහිලා. සයෝද් එයාගේ අල්ල මගේ මූන ඉස්සරහාට ගෙනත් දෙපාරක් ගෙනිච්චේ මට පේනවද කියලා සහතික කරගන්න.

"අහ්?" ඒත් මූ කොහොමද මේ විනාඩියට ඒකේ පාට එක්කම හරියටම දැක්කේ? 

"කොහොමද මෙච්චර ඉක්මනට හරියටම දැක්කේ?"

"ඒක තමයි කිව්වේ! ආයේ මුහුද ළඟට යනකොට ශර්ට් එක යට කරලා අඳින්න කිව්වේ!" 

"එතකොට?" 

"යමු!" ආයේ ශර්ට් වාටියෙන් අල්ලන් කෝට් එකේ පැත්තකින් තිබ්බ රෙස්ටෝරන්ට් එකට යනකොට මාත් ඔහේ පස්සෙන් වැටුනා.

"මොනාද බොන්නේ? ක්‍රීම්.."

"සෝඩා?" මන් එයා පටන් ගත්තු එක ඉවර කරාම දෙන්නටම හිනා.

"වෙලාව කීයද?" ක්‍රීම් සෝඩා එක බීලා ඉවර කරලා මන් සයෝද් ගේ වොච් එක දිහා බලන් ඇහුවම

"4යි" 

"හුටා!! තාත්තා එනවා තව පැයකින්. මන් ගෙදර යන්න ඕනා මල්ලි!" 

"මන් ඩ්‍රොප් කරන්නම්. හැබැයි කෝල් කරනවා මට!" 

"කරන්නම්!"

අප්‍රේල් නිවාඩුවට ගමේ යන්න තියන නිසා අම්මා දාගෙන කැවිලි හදනවා. මන් කුස්සියට ඔලුව දැම්මම රෙක්ස් බිම ඉඳගෙන සයෝද් දීපු මස් කට්ට හපනවා. මන් මේසේ උඩ තිබ්බ ක්‍රීම් ක්‍රැකර් පැක් එක අතට අරන් කඩපු ගමන් මිනිහාගේ ඔලුව සටාස් ගාලා කෙලින් වුනා. කොයි තරම් දැක්කත් මේකේ ආතල් එක නම් යන්නෙම නෑ. ඊළඟ තප්පරේ මිනිහාගේ ඉස්සරහ කකුල් දෙක මගේ ඔඩොක්කුවේ දිවත් එලියේ දාගෙන.

"උඹ ගිය ආත්මේ වැඩ කරලා ඇත්තේ මැලිබන් එකේ වෙන්න ඇති. කියන්න බෑ මැලිබන් මුදලාලීද දන්නේත් නෑ උඹ!" මන් බිස්කට් එකක් ඌගේ කටේ ගැහුවම ඒක අරන් ගිහින් ආයේ බිම දිගා වෙලා කර කර ගගා ඒක කනවා.

"පුතේ මෙන්න මේ කොකිස් ටිකයි තේ එකයි තාත්තට ගිහින් දෙන්න!" මොනා? මන්? මන් අන්තිමට තාත්තට තේ ගිහින් දුන්න දවස මට මතකවත් නෑ. 

"මන්?"

"ඔව් ඔව්! ගිහින් දෙනවා මේක!" ට්‍රේ එකත් අරන් හෙමින් සාලේට යනකොට ජනේලේන් දැක්කේ එලියේ බංකුව උඩ තාත්තා පත්තරේ කියෝනවා. මන් හෙමින් සැරේ ළඟට ගිහින් තාත්තා දිහා නොබලම බංකුවේ පැත්තකින් ට්‍රේ එක තියලා ආයේ හැරෙන්න ලෑස්ති වුනා. 

"ඩිංගිත්තක් හිටිං!" මාව ගැස්සුනා

"මෙතනින් ඈඳිගනිං!" බය හිතෙනවා දැන් නම්! මන් හෙමින් ගිහින් එහා පැත්තෙන් වාඩි වුනා. තාත්තා පත්තරේ නවලා ඔඩොක්කුව උඩ තියන් කණ්නාඩියත් මගෙයි තාත්‍තගෙයි මැද්දෙන් තිබ්බා.

"කෝ ගනිං ඔය කොකිසක්!" එහෙම කිව්වම මන් කොකිසක් අරන් දුන්නාම තාත්තා ඒක දෙකට කඩලා එක බාගයක් මට දුන්නා. අනේ! ඉස්සර වගේ! මට ඇඬෙනවා. කඳුලු වැටෙනවා මන් නැවැත්තුවෙත් නෑ.

"මක්කැයි මේ අඬන්නේ! පිරිමි පුතාලා අඬන්න නාකයි" කියලා මගේ කඳුලු පිහිදුවම මන් තාත්තව බදාගෙන අඬන්න ගත්තාම තාත්තා මගේ ඔලුව අත ගෑව.

"තුන් වෙනියැයි?" ඔලුව අත ගගාම ඇහුවම මන් තාත්තගේ ලොකු බඩ අස්සෙ මුන ගහන් 'ඔව්' කිව්වා.

"ඇහැක් විදිහට කොරලැයි?" මන් ආයේ ඔව් කිව්වා

"හ්ම්! නිවාඩුව අහක් වුනාම ඔහෙලගේ පන්ති ආයේ පටන් ගනිං. විභාගේ අපදං කොරගන්න නාකයි!" 

"හරි තාත්තේ!" මන් මූන ශර්ට් කර උඩට අරන් පිහිදගත්තා.

"ආං ඉක්ලෙයර් එකක් වහන් කොරලා ඇති ෆ්‍රිජ් එකේ. කාහං!"

අපි හක්මන යන්නේ කෝච්චියේ. මාතරින් කෝච්චියෙන් බැහැලා ඉතිරි ටික බස් එකේ එනවා. තාත්තා වරායෙන් නිවාඩු අරන් එන්නේ සති දෙකකටම. මෙහේ තාත්තට ගොයම් අක්කර දෙකක් තියනවා. එව්වා බලා කියාගන්නේ අපේ බාප්පයි එයාගේ නෝනයි. ආත්තම්මා ඉන්නෙත් හක්මන මහ ගෙදර. ආත්තම්ම පරණ ඉස්කෝලේ හාමිනේ කෙනෙක්. සීයා ඒ ඉස්කෝලෙම ලොකු ඉස්කෝලේ මහත්තයා. එයා නම් දිවංගත වෙලා. මන් ඇහැකට දැකලා නෑ. දික්වැල්ලෙත් ඉන්නවා බාප්පා කෙනෙක්. එයාලත් ඇවිත් ඇති. 

මන් බෑග් ටිකත් උස්සන් මිදුලට ගොඩ වෙනවා එක්කම ආත්තම්මා කට පුරා හිනා වුනා.

"ඕං සුදු මහත්තයට අත්තම්මව මතක් වෙලා" මන් ආත්තම්මගේ කකුල් අල්ලලා වැන්දා.

"පුංචෑයෝ ගෙදර ආවම තමයි ඩිංගිත්තක් එලිය වැටුනේ!" බාප්පා ඇවිත් තාත්තාගෙයි අම්මගෙයි අතේ තිබ්බ බෑග් අර ගත්තා.

"අවුකාස්ඨකේ නම් ඉවසුමක් නැතුවා. ඕන් ඔය ජූල් කිරි එක ගත්තනම්!" බාප්පා පුංචි අම්මට ඇහෙන්න කෑ ගැහුවා. 

දිවුල් බීලා ඉවර වුනාම පුංචි මල්ලි එක්ක අඹ ගහට නැග්ගේ අඹ කඩන්න. හොඳට පැහිලා. ඒත් ගොඩක්ම ලේන්නු කාලා.

"ඕං ඉතින් ඇහැක්කාරයෝ පත බෑවෙන්න කාරියක් තමයි!" ආත්තම්මා ගහ යට ඉඳන් කෑ ගැහුවා.

"ඇහැක්කාරයෝ නිසානේ ආත්තමේ නැග්ගේ. ඕන් අල්ලගන්න!" මන් අඹයක් කඩලා ආත්තම්මට විසික් කරා. අයුශ් මතක් වෙනවා. අඹ කන්න අලි පෙරේතයා. යනකොට අඹ මල්ලක්ම අරන් යනවා. ඒත් දැන් කාට දෙන්නද අඹ?

අඹ අච්චාරු කාලා බඩත් රිදෙනවා. නින්ද යන්නෙත් නෑ. පුංචි මල්ලි නම් ගොරෝ ගොරෝ නිදි. දික්වැල්ලේ බාප්පලාත් රෑ ජාමේ දිහා ආවා. සේරමල්ලා බුදි. මටනම් නින්දක් නෑ. ඇහැරිලා පොලවෙන් අඩිය තිබ්බම රතු මැදපු පොලවේ සීතල! මන් සෙරප්පු දෙකත් දාන් සාලෙට ගියා. පරණ තාලේ කණ්නාඩි මේසේ උඩ තාත්තගේ phone එක. සයෝද්! මට දැන් ඌව මතක් වෙන්නේ ඇයි? නෑ නෑ ඕන නෑ! මන් ඉස්සරහ දොර පලු දෙක ඇරන් එලියට අඩියත් තියලා ආයේ කාමරේට දුවලා බෝල කූඩුවේ එල්ලලා තිබ්බ කලිසමේ සාක්කුවෙන් මගේ වොලට් එක අරන් ඒකේ ඔබලා තිබ්බ කොල කැල්ල අරන් පර්ස් එකත් ආයේ සාක්කුවට ඔබලා එලියට ඇවිල්ලා කාමරේ දොර වැහුවා. කවදා කල හොර වැඩද? වට පිට බලලා ආරක්ශාව තහවුරු කරන් phone එකත් අරන් පිළිකන්නෙට ගිහින් දොර පලු දෙක වහලා එතන තිබ්බ ලී පුටුවෙන් ඉඳගෙන නම්බර් එක ඩයල් කරා. 'නිදිද දන්නෙත් නෑ! ඒත් තාම 9යිනේ!' 

Phone එක රිං උනා.

"හෙලෝ!" ගෑනු කටහඬක්. අම්මා වෙන්න ඕනා.

"අහ් හෙලෝ ආන්ටී, මංජු ඉන්නවද?" කටහඬත් ගැහෙනවා.

"අහ් ඉන්න පුතා! මංජූ!!!! මේ කෝල් එකක්!!!" (ලොකූ!!!, අයියේ මගේ මස් කැල්ල!)

"සවේන් අයියේ?" මොනා? මූ කොහොමද? (තාන්‍ය පුතා ඊළඟ නම්බර් එක!) 

"කොහොමද මන් කියලා දන්නේ?"

"මට හිතුනා!" (සතුට බොකයි බොක සැපතයි..) මොනාද ඒ කියන්නේ ඊයා!

"මාර ඒවනේ ඔයාට හිතෙන්නේ? කොහෙද ඉන්නේ?"

"අපි නුවරඑලියේ!" (රුක්මනී ලං වී මට දැන් කියන්න ආදරේදෝ?) තුර්ශ?

"තුර්ශ ඉන්නවද?"

"තාන්‍ය අයියත් ඉන්නවා. ඔක්කොමලා ඉන්නවා!" (මේ පපුව පලලා බලපං සුදු මල්ලි! උඹට තියන ආදරේ!) හදවත් සැත්කමුත් කරනවද මේ පවුලේ?

"ඔහොම ඉන්න මන් ටිකක් එහාට යනකන්. මුන්ගේ කෑගැහිල්ල නිසා මෙලෝ දෙකක් ඇහෙන්නේ නෑ!" තේරුම් ගත්තනම් හොඳයි. ඒත් ජොලි ඇති අප්පා!

"ආ දැන් කියන්න! ගෙදරද?" 

"නෑ ගමේ ආවා. හක්මන"

"ආ... දකුණු රටේ එක්කෙනෙක්ද ඔහේ? පොල් ඔයන්න දන්නවැයි?"

"පොල් ඔයන්න විතරක් නෙමෙයි අඹ බයන්නත් දන්නවා"

"පොල් උයන්න දන්නවද?"

"පිස්සෙක්!" මට හිනා යනවා

"මොකද මාව මතක් වුනේ?" සයෝද් අහපු දේටනම් මට උත්තර නෑ. ඇත්තටම මන් දන්නේ නෑ. දැන් මට හෙන වරදකාරී හැඟීමක් එනවා. මන් අයුශ්ට බොරු කරනවා නේද? මන් මේ මොනාද කරන්නේ! සවේන් උඹට මොනාද වෙලා තියෙන්නේ?

"අහ් මේ මන් යන්න ඕනා බායි!"

"අයියේ..."

මන් කට් කරලා ලොග්ස් වලින් නම්බර් එකත් ඩිලීට් කරා. 

මට ලැජ්ජයි මන් ගැන! මට සමාවෙන්න පන. ආයේ වෙන්නේ නෑ! ඉක්මනට එන්නකෝ! මට පාලුයි මට ආදරේ ඕනා. ආදරේ කරන්න ඕනා. ඉන්න තැනකින් එක්මනට එන්න ආශු!!! 

මතු සම්බන්ධයි..... 

More Chapters