Cherreads

Chapter 44 - 44

බුදුන් වැඳලා ඉවර වෙලා මිගාන් හෙමින් සැරේ ආවේ kitchen එක පැත්තට. Kitchen එකට යන්න ඉස්සර මුලින්ම මුණ ගැහෙන්නේ කෑම මේසය. වෙනම kitchen එකක් හදලා නැති වුණත් කෑම කාමරයයි kitchen එකයි තිබුණේ එකටම වගේ. ඉතින් කෑම කාමරයයි kitchen එකයි වෙන් කරන සීමා මායිමක් නම් එතන නෑ.

ගැරඬියා හෙමින් සැරේ ඇවිත් කෑම මේසයේ පුටුවක් ඇදලා වාඩි වෙද්දි බාබු අන්කල් fresh milk මග් එකත් හදාගෙනම එයා ගාවට ආවේ හිනා වෙවී.

" බාබු අන්කල් fresh milk එකත් හැදුවද ? "

එයා ඇහුවේ හිනා වෙවී.

" මොනා වුණත් ඒක වරද්දන්න බෑනේ සර්... "

බාබු අන්කල් එහෙම කියාගෙනම fresh milk මග් එක අරන් ඇවිත් කොල්ලගේ ඉස්සරහින් තිබ්බා. එයා මග් එකත් අතට අරන් හෙමින් සැරේ තොල ගාන්න වුණා.

" ඕක බීලා කිරිබත් කන්න සර්.. මං සැරට ලුණු මිරිසකුත් හැදුවා උම්බලකඩත් දාලා... "

" ෂා මරුනේ... කිරිබත් නම් කාපු කාලයක් මතක් නෑ.. ඇත්තෙන්ම බාබු අන්කල් මටවත් මතක නොතිබ්බ මගෙ birthday එක බාබු අන්කල්ට මතක තිබ්බ එක කොච්චර දෙයක් ද.. "

එයා කිව්වේ අන්තිමට ලොකු හුස්මකුත් පිට කරන ගමන්.

" මං වැඩ කරන්නෙ සර් ගාව සර්.. සර් අහලා තියෙනවද සිඟාලෝවාද සූත්‍රය.. ඒකේ තියෙනවා සේවකයාගෙන් ස්වාමියාට ඉටු විය යුතු යුතුකම් කියලා ටිකක්.. මං දෙමළ මනුස්සයෙක් බව හැබෑව.. හැබැයි සර් මං ඒ ගැන දන්නවා.. මං ඉෂ්ඨ කරන්නේ මගෙ යුතුකම සර්.. ඊටත් වඩා සර් මට මගේම දරුවෙක් ගානයි... "

බාබු අන්කල් බිඳුණු හඬකින් කියද්දි නම් එයාටත් දුක හිතුණා. Fresh milk මග් එක තොල ගාන ගමන් උන්නු එයා එහෙම්මම ඒක නවත්තලා බාබු අන්කල් දිහා බලලා හුස්මක් පිට කරද්දි බාබු අන්කල් බලන් උන්නෙත් එයාගෙ මූණ දිහාමයි.

" බාබු අන්කල්.. ඔයා නොදන්නවා වුනාට මං කවදාවත්ම ඔයාව මේ ගෙදර වැඩකාරයෙක් ගානට දාලා නෑ.. ඔයා මට මගේම තාත්තා බාබු අන්කල්.. මගේ කියලා කෙනෙක්වත් මට birthday එකට wish නොකරද්දි මට wish කරපු එකම කෙනා බාබු අන්කල් විතරයි.... "

එයා ශෝකාකූල සිනාවක් මුව රඳවගෙන කියද්දි බාබු අන්කල්ගේ පපුව පිච්චුණා වගේ වුණා.

" අර සර් හැමදාම උදේ හවා බලන්න යන සර්ගෙ යාළුවා.. ඒ ළමයා සුභ පැතුවෙ නැද්ද සර්..? "

බාබු අන්කල් එහෙම ඇහුවේ එයාගේ හිතේ තිබුණු සංවේදනාත්මක සිතුවිල්ල ඈත් කරන අදහසින්. එතකොට නම් ඇත්තෙන්ම එයා ලාවට වගේ හිනා වෙලා බාබු අන්කල් දිහා බලලා උත්තර දුන්නා.

" එයා දන්නෑ බාබු අන්කල් අද මගේ birthday එක කියලා.. දන්නවා නම් කීයටවත් එයා මට wish නොකර ඉන්නෑ... "

එයා කිව්වෙ ලොකු විශ්වාසයකින්. ඇත්ත, එයා ගැන ගැරඬියගේ හිතේ තිබුණේ ලොකු විශ්වාසයක් . ඒ විශ්වාසය එසේ මෙසේ විශ්වාසයක් නෙවෙයි.

" සර් දැන් යනවද අදත් ඒ ළමයව බලන්න..? "

" ඔව් බාබු අන්කල්.. යන්න කියලා තමා හිතන් ඉන්නේ.. "

" එහෙනම් ඒ ළමයටත් එන්න කියන්න හවසට පන්සල් යන්න... "

බාබු අන්කල් එහෙම කිව්වම ගැරඬියගේ මූණේ මතු වුණේ කවදාවත්ම නැති විදිහේ ලස්සන හිනාවක්.

" ෂා මරුනේ... බාබු අන්කල්ටත් ඉඳලා ඉඳලා හොඳ හොඳ ideas එනවා නේහ්... "

එයා කිව්වෙ හිනා වෙවී. බාබු අන්කලුත් එයත් එක්කම හිනාවට හවුල් වුණේ එයා fresh milk මග් එකේ ඉතුරු උගුරු දෙක සුටුස් ගාලා ගිල දාන අතරතුරේදිමයි.

එයා fresh milk මග් එක හිස් කළාට පස්සෙ බාබු අන්කල් මග් එකත් අරන් සින්ක් එක ගාවට යද්දි එයත් වාඩි වෙලා උන්නු පුටුවෙන් නැඟිටලා බාබු අන්කල්ගේ පස්සෙන්ම ගිහින් අතත් සෝදගෙන තත්පරේට දෙකට ඇවිත් ආයෙමත් සුපුරුදු පුටුවෙන්ම වාඩි වුණා.

විනිවිද පේන වීදුරු බෝල් එකේ සුදු හාලෙන් හදපු කිරිබත් කෑලි ගොඩාක් පුරවලා තිබුණා. තවත් කරි දීසියක රතුම රතු පාට ලුණු මිරිසක්. දැක්ක ගමන්ම සැර පාටට පේන ලුණු මිරිස කොච්චර රසද කියලා දැක්ක හැටියෙම වගේ එයා තීරණය කරලත් ඉවරයි.

පුංචි කාලේ ඉඳන්ම ගැරඬියා ඉතින් කිරිබත් පෙරේතයෙක් තමයි. ගෙදර කිරිබත් හැදෙන්නේ ගොඩාක් කලාතුරකින්. ඒකත් මොකක් හරි දේකට සුභ කටයුත්තක් යෙදුණොත් විතරයි. එදාට නම් එයා බඩ පිරෙන්නම කිරිබත් කනවා.

ඒ දවස්වල ගෙදර උයන පිහන වැඩ ටිකත් කළේ එයාගෙ අම්මා. වත්ත පිටියෙ සුද්ද කරන ඒවා විතරක් වෙනම දෙතුන් දෙනෙක් දාලා කළා. ඒ දවස්වල අම්මා කෙසෙල් කොළ තවලා ඒවයේ කිරිබත් හදන හැටි එයාට ඒ මොහොතෙදිත් මතක් වුණා.

ඊටත් වඩා එයාගෙ අත්තම්මා.. ඒ කියන්නෙ ගැරඬියගේ අම්මගෙත් අම්මා හදන කිරිබත නම් පංකාදු පහයි. ආයෙ කතා කරන්න දෙයක් නෑ ඒ ගැන නම්. නුවරඑළියේ ගියාම හැමදාමත් වගේ අත්තම්මා බත් එකට හදලා දීපු ලුණු මිරිස.. දැන් කාලේ වගේ නෙවෙයි. එයා ඒ පුංචි කාලයේ මතකත් එක්ක අතරමං වෙන ගමන්ම ප්ලේට් එකකට කිරිබත් කෑලි හතරකුත් බෙදාගෙන ලුණු මිරිසුත් බෙදාගත්තා.

කිරිබත් කෑල්ලක් කඩාගෙන ලුණු මිරිස් එක්ක කන ගමන් ආයෙමත් එයා අතරමං වුණේ ඒ පරණ මතකත් එක්ක. අත්තම්මලගේ නුවරඑළියේ බංගලාව තරම් ඒ දවස්වල එයා ආස කරපු වෙන තැනක් නම් ඇත්තෙම නැති තරම්.

ඇත්තෙන්ම එහේ ගියාම අත්තම්මා හදලා දෙන ලුණු මිරිස තරම් රස ලුණු මිරිසක් නම් එයා කාලම නෑ. රතු ළූනු, කොච්චි, කෑලි මිරිස්, උම්බලකඩ එක්ක දෙහි ඇඹුල් දාලා මිරිස් ගලේ අඹරලා ගන්න ලුණු මිරිස.. ඒක නම් දැන් දැන් මතක් වෙද්දිත් කටට කෙළ උනනවා.

බාබු අන්කල්ගේ ලුණු මිරිසත් අත්තම්මගේ ලුණු මිරිසට දෙවෙනි නෑ. පුංචි අඩු පාඩුවකට තිබුණේ දෙහි ඇඹුල් වැටිලා නැති එක විතරයි. ඒ නැතත් ලුණු මිරිස කිරිබත් එක්ක නියමෙටම ගැළපෙන විදිහට හදලා තියෙනවා.

පුංචි කාලේ මතකවලින් එයා මිදිලා ආයෙමත් වතාවක් පියවි සිහියට ආවේ අත්තම්මගේ මරණයත් එක්ක. එදා දවසෙ අත්තම්මා නැතිවෙන්න ඉස්සර අම්මගේ අතින් තියලා තිබුණු නුවරඑළියේ බංගලාවේ ඔප්පුවේ තිබුණේ එයාගේ නම වෙද්දි ඒ බංගලාවේ සම්පූර්ණ අයිතිය එයාගෙ අතට පත් වුණා.

ඒ මොහොතේ ඉඳන් එයාගෙ මාමා වෙච්චි රාග් දේවේන්ද්‍ර ගේ මූණේ තිබුණු නුරුස්සන සුළු පෙනුම තාමත් එයාට මතක් වෙනවා. එදා අවුරුදු විස්සක කොල්ලෙක් වෙච්චි මිගාන් අද අවුරුදු තිස් එක කියන තැනටත් පය තියලා ඉවරයි. ඒත් ඒ මතක නම් තාමත් එහෙම්මමයි .

ඒ කල්පනාව පිටම එයා බෙදාගත්තු කිරිබත් කෑලි හතරම කාලා ඉවර වෙද්දි තවත් කිරිබත් කෑල්ලක් ප්ලේට් එකට දාගෙන හෙමින් සැරේ කන්න වුණා.

" සර්... "

බාබු අන්කල් කතා කළේ කල්පනාවෙන් මිදිලා ආයෙමත් කල්පනා ලෝකයක නැවතෙමින් උන්නු මිගාන්ගේ මූණ දිහා බලාගෙනමයි . ඒත් එක්කම වගේ එයා ගැස්සිලා ගිහින් බාබු අන්කල් දිහා බැලුවම බාබු අන්කල් එයා දිහාවට හෙළුවේ පුදුම සහගත බැල්මක්.

" සර් බය වුනාද..? "

එයා හිනා වෙලා ආයෙමත් ප්ලේට් එක දිහාවට ඇස් යොමා ගත්තේ නෑ කියන්න වගේ හිස සලලා.

කිරිබත් කාලා එයා අතත් සෝදලා ඇවිත් කෑම මේසය උඩ තියලා තිබුණු වතුර වීදුරුවම හිස් කරලා ආයෙමත් පඩිපෙළ නගින්න වුණා. කාමරයට ගිහින් එයා mirror එක ඉස්සරහට ගිහින් නතර වුණේ එයාගෙම රූපය දිහා බලාගෙන.

අඩි හයක් උස කඩවසම් පිරිමි සිරුරේ කැඩපත් සේයාව දිහාව එයා මොහොතක් බලන් උන්නේ ගල් ගැහිලා වගේ. මිනිත්තුවක්.. දෙකක්..

නෑ.. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. ඒ වෙලාව කොච්චරක්ද කියන්න එයාටත් තේරුමක් නෑ. ඒ තරම් එයා ඒ සේයාව දිහා බලන් උන්නා. කඩවසම් පිරිමි සිරුරේ මාංශ පේශි හොඳ හැටි කැපිලා හැදිලා තිබුණේ භාහිරත්වයෙන් ගැහැණියකගේ සිත් ඇඳ බැඳගන්න තාලෙට.

භාහිරෙන් විතරක් නෙවෙයි එයාට තිබුණේ අභ්‍යන්තර වශයෙනුත් ගැහැණු සිත් ඇදගන්න විදිහේ ප්‍රතිරූපයක්. මොහොතක ආඩම්බරයක ගිලිණු එයා එයාගේ කැඩපත් සේයාව දිහා බලාගෙන යාන්තමට මිමිණුවේ වචන දෙක තුනක්. ඒ වචන ටික මුමුණද්දි එයාගෙ ඇස්වල තිබුණු දීප්තිමත් බවක් මූණේ තිබුණු ප්‍රසන්න හිනාවත් කියා පෑවේ ආඩම්බරකාර කොල්ලෙක්ගේ ආකර්ෂණීය පෙනුම ගැන විතරමයි.

" Happy birthday ඩිනෝ මිගාන් සමරදිවාකර.. may all your dreams and wishes come true.. stay safe and happy forever... "

එයා එහෙම කියලා ආයෙමත් වතාවක් කැඩපතින් පේන එයාගේ රූපයත් එක්ක හිනා වෙලා යන ගමන් ආයෙමත් වතාවක් එයාටම සුභ පතා ගත්තා.

" Happy birthday to me.... "

එයා එහෙම කියාගෙනම ගියෙ bathroom එකට. ඒ ගිහින් ආයෙමත් වතාවක් දත් මැදලා මූණත් සෝදගෙන කාමරයට ඇවිත් අළුත් ඇඳුමක් තෝරගන්න මුළු කබඩ් එකම පෙරළ පෙරළා බැලුවා. අලුතෙන් ගත්තු ඇඳපු නැති ඇඳුම් නම් බොහෝමයි. ඒත් එයාට ප්‍රශ්නය වුණේ ඒ අතරිනුත් තෝරගන්නේ මොකක්ද කියලා.

' අද වගේ දවසකත් ජිම් short එකක් ඇඳන් යන්න හොඳ නෑ... '

එයාගෙ හිත කබඩ් එක පෙරළ පෙරළ ඇඳුම් තෝරන අතරේ කිව්වේ එහෙම.

අලුත් අලුත් ඇඳුම් ගොඩාක් පෙරළ පෙරළා හොය හොයා ඉඳපු මිගාන් තෝරගත්තේ තද නිල් පාටට හුරු ඩෙනිම් කලිසමකුයි, සුදු පාට බැගී ටී ෂර්ට් එකකුයි. එයා තෝරගත්තු ඇඳුම bed එක උඩින් තියලා මැච් කරලා බැලුවම එයාට තේරුණේ ඒ ඇඳුමේ මොකක්දෝ ප්‍රසන්න ගතියක් තියෙනවා කියලා.

ඒ දවස හරි විශේෂයි. ඉතින් ඒ වගේ දවසකට හරියන්නෙම ඒ වගේ ප්‍රසන්න පෙනුමක් තියෙන ඇඳුමක්. එයා ලොක් කරන්න බැරි වුණු door එකත් ලොක් කරලා ඇඳන් උන්නු ඇඳුම අයින් කරලා තෝර ගත්තු ඇඳුම ඇඟලා ගත්තා.

එයා ඒකත් ඇඳගෙන එහෙම්මම ගියේ mirror එක ගාවට. සුදු පාටයි, නිල් පාටයි අතර තිබුණු ඒ ගැලපීම නම් මාරම මාරයි . එයාගෙ වචනයෙන් කිව්වොත් එලම ගැලපිල්ලක්..

එයා ඒකටම හරියන්න white colour sneakers දෙකකුත් දාගෙන ආයෙමත් එයාගේ රූපය දිහා mirror එකෙන් බලන්න වුණා. එයත් ඒ තරම් කඩවසම් විදිහට එයාව දැක්කේ ඒ වෙලාවෙද කොහෙද. තමන්ගේ සේයාව දිහා කැඩපතින් බලන් ඉන්න ගමන් එයා hair jel එකෙන් ටිකක් අරන් කොණ්ඩයේ තවරගෙන කොණ්ඩෙත් හදාගත්තා.

කලින් අවුරුද්දෙ switzerland වල travel කරන්න ගිය වෙලාවේ ගත්තු watch එකත් අතේ බැඳගෙන එයා කළු පාට sunglaas දෙකත් ටී ෂර්ට් එකේ කරේ රඳව ගත්තා. දැන් නම් ඇරපු අතක් නෑ එයා හරියට hollywood , bollywood mix වෙලා හැදුණු නළුවෙක් ගානයි. එයාගේ පෙනුම සාමාන්‍යයෙන් ගොඩක් හුරු වුණේ hollywood නළුවෙක්ගේ පෙනුමට.

එක එක වෙලාවට එක එක විදිහට. වෙලාවකට විකී කෞශාල් වගේ. ඒත් හැම මොහොතකම වගේ එයාගෙ පෙනුම හුරු වුණේ hollywood නළුවෙක්ගේ පෙනුමකට.

ඇමරිකන් brand එකක් වෙච්චි අලුත් perfume එකත් ගහන් එයා ආයෙමත් වතාවක් mirror එකෙන් බැලුවේ එයාගේ කඩවසම් පෙනුම දිහා.

බයික් එකේ key එකත් අරන් අනිත් අතෙන් පෝන් එකත් අරන් එයා කාමරෙන් එළියට ඇවිත් දොර වහලා දාලා පඩිපෙළ බහින්න වුණා. බාබු අන්කල් එයා පඩිපෙළ බහින සද්දෙ ඇහිලා kitchen එකේ ඉඳන් දුවන් ආවේ හැන්දකුත් අතේ තියාගෙනමයි.

" සර්... "

" බාබු අන්කල්... "

" සර් යන්නද..? "

" ඔව් බාබු අන්කල්.. මං ඉක්මනට ගිහින් එන්නම්... "

එයා කිව්වේ සෝෆා එකේ වීදුරු ස්ටූල් එක උඩ තිබුණු full face හෙල්මට් එකත් අතට ගන්න ගමන්.

" බාබු අන්කල්... "

" සර්... "

" හවසට එහෙනම් අපි බෙල්ලන්විල පන්සලට යමු නේද...? "

" අනේ හොඳයි සර්.. මාත් ගොඩ දොහකින් පන්සලකට ගියෙ නෑ... "

බාබු අන්කල් කිව්වෙ හිනා වෙලා.

" මං ගිහින් එන්නම්... "

" හරි සර්.. බුදු සරණයි...! පරිස්සමින් ගිහින් එන්න... "

බාබු අන්කල් ආශිර්වාද එකතු කරද්දි එයා එළියට බැස්සා. මිනිත්තුවක් දෙකක් යන්නත් ඉස්සර එයා kawazaki බයික් එකත් start කරගෙන පාරට වැටෙන හඬ බාබු අන්කල්ට ඇහුණා. ඒත් එක්කම බයික් එක ගිනි වේගයෙන් යන හඬ ඇහෙද්දි බාබු අන්කල් ඇස් පියාගත්තේ එයාව ආරක්ෂා කරන්න කියලා දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලන ගමන්.

පන්හිඳ උන්නේ ඇඳේ වැතිරුණු ගමන්මයි . කලින් දවසේ රෑ සිද්ද වෙච්චි දේවල් එක්ක ටිකක් අමාරු වුණත් එයා තවදුරටත් ඇඳට වෙලාඉන්නෙ නැතුව හෙමින් සැරේ නැඟිටලා kitchen එක දිහාවට ගියා.

ඒ යද්දි සත්සිඳු උන්නේ උදේ කෑම හදන ගමන්. සත්සිඳු පන්හිඳ දිහා බලලා හිනා වුණාම පන්හිඳත් එයා එක්ක හිනා වුණා.

" දැන් මොකෝ සුදු අයියේ..? "

" දැන් අවුලක් නෑ සුදු චූටි.. ටිකක් හොඳයි.. මට දාඩියයි.. පොඩ්ඩක් ඇඟට වතුර ටිකක් හලා ගන්න ඕනි.. එතකොට තෙහෙට්ටු ගතිය අඩු වෙලා යාවි... "

එයා කිව්වෙ kitchen එකේ තිබුණු මේසයට හේත්තු වෙන ගමන්.

" එහෙනම් දැන් ගිහින් මගෙ හොඳ ළමයා වගේ wash එකක් දාගෙන එන්න.. මං කන්න දෙයක් හදන්නම්... "

" හ්ම්... "

සත්සිඳු උදේ කෑම හදන තුරු පන්හිඳ bathroom එකට ගිහින් wash එකක් දාගන්න වුණා. සත්සිඳු උන්නේ ගොටුකොළ සම්බෝලයක් හදන්න ගොටුකොළ ලියාලන ගමන්.

ගොටුකොළ ටික සුද්ද කරලා අරන් මිටියෙන් භාගයක් විතර එක මිටට අරන් ලියාලන අතරේ එයාට ඇහුණේ ශ්‍රී සුමංගල මාවත දිගේ එයාලගෙ බෝඩිම පැත්තට ඇදෙන සුපුරුදු බයික් එකක හඬ..

" දෙයියනේ මිගාන් සර්....! "

එයාට කියවුණේ ඉබේටමයි. ලියාලන ගමන් උන්නු ගොටුකොළ ටිකත් දාලා එයා එහෙම්මම අතත් සෝදගෙන කාමරයට ඇවිත් දොරකඩට ගොඩ වුණා.

එයා තාමත් එන ගමන්. කිරුළපන එයාගෙ ගෙදර ඉඳන් පන්නිපිටියේ සත්සිඳු උන්නු බෝඩිමට එන ගමන්. ශ්‍රී සුමංගල මාවත දිගේ එන ගමන්.

සත්සිඳු දොරකඩට වෙලා බලන් උන්නේ හිනා වෙලා. ඒත් තවත් ඒ මූණ බලන්න තරම් එයාට හයියක් නම් නෑ.

කොහොමද තව දුරටත් ඒ මූණ බලන්නේ.. කලින් දවසේ රෑ පන්හිඳ එක්ක සිද්ද වෙච්චි දේවල් එක්ක එයාගෙ හිතට එකඟව ගැරඬියට මුහුණ දෙන්න පුළුවන්කමක් නම් සත්සිඳුට තිබුණේ නෑ.

ඒත් එක්කම වගේ එච්චර වෙලාවක් මූණේ තිබුණු ලස්සනම ලස්සන හිනාව අතුරුදන් වෙලා ගිහින් මුළු මුහුණම අඳුරු වුණේ හරියට වැහි වලාකුළක් වගේ.

' සර්, මට සමාවෙන්න.. මං දන්නවා , මේ හිත අස්සේ ඔයා ඉන්නව වුණත් ඊයේ රෑ වෙච්චි දේවල් එක්ක මං කොහොමද ඔයාට මූණ දෙන්නේ.. මට ඔයාට මූණ දෙන්න තරම් හිතේ හයියක් නෑ සර්.. හිතට එකඟව කොහොමත් මූණ දෙන්න බෑ.. මං ගොඩක් ආත්මාර්ථකාමි වුනා සර්.. මට ඊයෙ මාව පාලනය කරගන්න බැරි වුණා.. මාත් කොල්ලෙක්නේ.. මටත් හැඟීම් දැනීම් තියෙනවනේ.. අනේ.. අනේ ඇයි සර් ඔයාට පන්හිඳ අයියා වෙලා මං ගාවට එන්න බැරි වුණේ.. සමහර විට මේ ආත්මෙදි අපිට එකතු වෙන්න බැරි වේවි.. ඒත්.. ඒත් ලබන ආත්මෙදි නම් මං කොහොම හරි ඔයාගෙ වෙනවා සර්.. කොහොම හරි... '

දොරකඩට වෙලා ඉන්න ගමන් එයා හිත අස්සෙන් ලතැවෙන්න වුණා. එයා ගැනම අප්පිරියාවකින් එයා පසුතැවෙන්න වුණා.

හැඟීම් එක්ක කලින් දවසේ රෑ මොන දේ සිද්ද වුනත් එයාගෙ හිත තාමත් තියෙන්නෙ ගැරඬියා ගාව. ඒත් වෙච්චි දේවල්...

වැරැද්ද කා අතේද.. හිතාගන්නවත් බෑ. එයා දොරකඩට වෙලා ලතැවෙන හිතෙන්ම ඉද්දි ඇස් කොණකට ආව කඳුළු බිඳුවක් සුළැඟිලි අගකින් පිහ දා ගත්තා.

මහා වැරදිකාර හැඟීමකින් පිරුණු ඒ හිත එකම එක වතාවක් හරි ගැරඬියට ආදරේ කළ බව දැන් දැන් එයාට වැටහෙන්න අරන්. නැත්නම් ඇයි ඒ හිත මෙච්චර වද දෙන්නේ..

පපුව හරි හරියට ඇදුම් කනවා. හිත හොඳටෝම රිදෙනවා. වේදනාව මෙහෙමයි කියලා කියා නිම කරන්න බෑ. දෙතැනක නතර වෙලා තියෙන හිත වැලපෙන්න වැලපෙන්න එයා උළුවස්ස දෝතින්ම තද කරලා අල්ල ගත්තේ ඇස් බොඳ වෙන ඇසිල්ලෙමයි.

ඒත් එක්කම වගේ බෝඩිමේ වත්තට ඇතුළු වුණේ අර සුපුරුදු බයික් එක. එයාට පණටත් වඩා ආදරේ කරන ගැරඬියා.

එයාගේ නොවන එයාගේ ආදරේ.. හරි කඩවසම් විදිහට ඇඳලා පැළඳලා රාජ කුමාරයෙක් වගේ ඇවිත් ඉන්න ගැරඬියා. එයාව දකිද්දිත් හිත අස්සෙන් ඇති වෙන නමක් නැති හැඟීම..

අනේ මන්දා. ජීවිතේ හරි පුදුමයි. ඒත් ජීවිතේ ගමන් කරන හැම අන්තයක්ම සුන්දර නෑ. හමුවීම් එමටයි. ජීවිතේ සුන්දරම හමුවීම් දුලබයි. කිසිම බැඳීමකට ද්‍රෝහි වෙන්න හිතක් නැති තැන ජීවිතය අත් හැරීම හැර කුමන තීරණයක් ද..

එහෙත් ජීවිතය අත් හැරීම කෙසේ වූ තීරණයක්ද.. දේදුන්නක් වුණත් අම්බරය අරා ඉන්නේ මොහොතකට විතරයි. ජීවිතයත් එහෙමයි. සීමාන්තික කාලයක් විතරයි.

දේදුන්නක් අහසෙ පෑයූ පසුව කී දෙනෙක් ඒ සුන්දරත්වය විඳිනවද. ජීවිතේ එතනින් වෙනස් වෙනවද. නෑ... ජීවිතයත් එහෙමයි. පවතින තුරු කී දෙනෙක් නම් ඒ සුන්දරත්වය අත් විඳිනවද..

දෙතැනක නතර වෙන්න හිතට අවසර නෑ. හිත එක තැනක. ගත තව තැනක.. නෑ නෑ නෑ. ගතින් වුනත් තවමත් සත්සිඳු පන්හිඳගේ වුනේ නෑ. එයා තාමත් එයාගෙමයි.

සත්සිඳු එයා ආදරේ කරපු පන්හිඳත් එක්ක එකතු වුනු එක ගැන පසු තැවෙන ඒ ඇසිල්ලෙදියි එයාට මතකයට ආවේ ඉස්සර දවස්වල ගැරඬියගේ කෙරුවාව. ඒත් දැන්.. දැන් එයා එහෙම නෑනේ.

දාගෙන ආව full face හෙල්මට් එකත් ගලවලා මූණේ වෙනදාටත් වඩා ලස්සන ප්‍රසන්න හිනාවකුත් පුරවගෙන එන ගැරඬියා දිහා සත්සිඳු බලන් උන්නෙත් හිනා වී ගෙනමයි. එයා බයික් එකෙන් බහිනවත් එක්කම සත්සිඳුත් දොරකඩින් මිදුලට බැහැලා හෙමින් සැරේ එයා ගාවට යන්න වුණා. එයත් හෙමින් සැරේ සත්සිඳු ගාවට ඇවිදන් එන්න වුණා. දෙන්නගෙම මුහුණුවල තිබුණේ ලස්සනම ලස්සන හිනාවක්.

" Good morning දරුවෝ... "

එයා කතා කළේ සුපුරුදු ආමන්ත්‍රණයෙන්ම වෙද්දි සත්සිඳුගේ හිත දැවෙන්න ගත්තේ මහා වේදනාවකින්.

" Good morning සර්... "

එයත් හිත අස්සෙ තියෙන හැමදෙයක්ම මොහොතකට අමතක කරලා එයාට කතා කළේ හිනාවෙන්මයි.

" අම්මෝ අද සර්ගේ සුවඳ... "

එයා කිව්වෙ නෑ කියවුණා. ගැරඬියා ගාවින් එන ප්‍රසන්න සුවඳට හිත තව තවත් ඇදිලා යද්දි එයාට ඒක නොකියා ඉන්න බැරි වුණා.

" ඇයි සුවඳ විතරද.. මං ලස්සන නැද්ද...? "

එයා ඇහුවේ නෝක්කාඩුවෙන් වගේ.

" ලස්සනයි දෙයියනේ... "

එයා වචනෙන් එහෙම කියද්දි හිත කිව්වෙ වෙනමම දෙයක්.

' මේ ලෝකේ මං දැක්ක ලස්සනම මනුස්සයා ඔයා සර්... '

ඒ එයාගේ හිත.

ගැරඬියා බලන් උන්නේ හිනා වී ගෙනමයි. ඒ ඇස්වල තිබුනේ වෙනදා නැති විදිහේ අමුතුම දීප්තියක්. සත්සිඳු ඒ ඇස් එක්ක ඇස් පටළවගෙනම මොහොතක් බලන් උන්නෙ ගල් ගැහිලා වගේ.

" ඇයි ඔහොම බලන්නේ..? "

ගැරඬියා ඇහුවේ සත්සිඳුගේ කල්පනාව බිඳින ගමන්.

" න්..නෑ.. මේ.. මොකුත් නෑ.... "

එයා ඒ ඇස් මඟ හරින ගමන් කිව්වා. ඒත් එක්කම සත්සිඳුගේ ඇස් යොමු වුණේ පොළව දිහාවට .

" වචනවලින් බොරු කියන මිනිස්සුන්ට ඇස්වලින් ඇත්ත හංගන්න බෑ දරුවෝ... "

එයා එහෙම කියද්දි බිමට හරව ගත්තු ඇස් ආයෙමත් මිගාන්ගේ දිහාවට යොමු වුණේ තිගැස්සිලා වගේ ගිහින්.

" සර්...! "

" ඔව් දරුවෝ.. ඔය ඇස්වල නොකියන ගොඩාක් දේවල් තියෙනවා.. කමක් නෑ හංගගෙනම ඉන්න.. මං මැරෙන දවස වෙනකනුත් ඔය හිතේ තියෙන දේවල් මගෙ තුරුළට වෙලා කියන්න බැරි වුණොත් ලබන ආත්මෙක හරි මං ගාවට එන්න.. මං එදාටත් මේ පපුවේ අදටත් වඩා ආදරේ පුරවගෙන බලන් ඉන්නවා... "

එයා කියවන්නෙ මොනාද.. සත්සිඳුට නිකන් හැමදේම ඇහෙන්න වුණේ හීනෙන් වගේ. ඒ වචන ලතැවෙන හිත් පතුලේ කා වදිද්දී ඕනි දෙයක් වෙද්දෙන් කියලා කෑ ගහලා කියන්න හිතෙන්නේ 'මං ඔයාට ආදරෙයි සර්' කියලමයි.

එයා ඇහිපිල්ලමක්වත් නොගසාම මිගාන් දිහා බලාගත් ගමන්ම උන්නා. මිගාන්ගේ මායාකාරි ඇස්.. ඒවායේ තද කළු පාටත් එක්ක තිබුණු තියුණු පෙනුම එයාගෙ හිත හරි හරියට ඇදලා ළං කර ගන්නවා.

" ඒවා වැඩක් නෑ.. මට දෙයක් කියන්න තියෙනවා... "

අර සංවේදනාත්මක ස්වරයෙන් බර වුණු හඬින් මිදිලා එයා සුපුරුදු හඬින්ම කතා කරන්න ගත්තා.

" ම්..මොකක්ද සර්..? "

එයා ඇහුවේ පුදුමයෙන් වගේ.

" අද මගේ birthday එක.. අවුරුදු 31 ක්... "

" හ්..හ්.. දෙයියනේ...! මං දන්නෑනේ ඉතින්.. අයියෝ... "

එයා එහෙම කිව්වේ හිනා වෙන ගමන් පුදුමයෙන් වගේ. ඒත් එක්කම මිගාන්ට හිතන්නවත් තවත් තත්පරයක්වත් ඉඩ නොතියා සත්සිඳු එයාව බදාගත්තේ නොසිතූ විදිහට. ඒත් එක්කම මිගාන්ගේ ඇස් උඩ ගිහින් පුදුම වෙද්දි හදවතේ ගැස්ම වුනත් එන්න එන්නම වැඩි වෙන අයුරු හොඳටෝම තේරුණා.

" Happy birthday සර්.. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න... "

එයා ඒ වචන ටික මිමිණුවේ මිගාන්ව බදාගෙනමයි .

හිත උදුරගත්තු පුංචි කොල්ලා එයාව බදාගෙන . හයේ හතරේ සද්දන්ත පිරිමි පරාණයටත් ඔහේ අත පය නිකන් තියන් ඉඳලා පුරුද්දක් නෑනේ. පුංචි කොල්ලෙක් කිව්වට කොල්ලා පුංචිම නෑ.

මිගාන් හදවත ගැහෙන වේගයටම එයාව බදන් ඉන්න කොල්ලගේ බඳ වටේ අත් දෙක යවලා එහෙම්මම බදාගත්තේ ඇස් දෙකත් පියාගෙන.

" thank you babybabe.. ගොඩාක් ස්තූතියි මගෙ දරුවෝ... "

එයා එහෙම කියලා එයාව බදාගෙන ඉන්න කොල්ලගේ උරහිස මතින් එහෙම්මම මූණ පහත් කරලා පුංචි හාද්දක් තිබ්බා. ඇඟ සීතල වෙලා යන සිතුවිල්ලක් එක්ක සත්සිඳු ඇස් පියාගෙනම උන්නේ තවත් ටිකක් එයාව බදාගන්න ගමන්.

මීළඟ කොටසට ...

More Chapters